ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) මහතා එකඟතාවයකට එළඹ තිබෙි.

“එක් තීරයක් - එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගී වීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) මහතා අතර නිල හමුව  බීජිං නුවරදී අද (17) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී මෙම එකඟතාවට එළඹිණි.

ජාති, ආගම් සහ ජනවර්ග භේද මත එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වර්ධනය නොකෙරෙන මනුෂ්‍යත්වයෙන් පිරි පොදු සමාජයක් නිර්මාණය කිරීම මුළු ලෝකයේම අනාගත අභියෝගය බව නායක දෙපළ මෙහිදී අවධාරණය කළහ.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද සහ එයින් යළි ගොඩ ඒමේ මාර්ග පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

පාකිස්ථාන මුදල් ඇමතිනි ෂම්ෂාඩ් අක්තාර් (Shamshad Akhtar) මහත්මිය ඇතුළු එරට දූත පිරිසක් ද, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු දූත පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 (අංජුල මහික වීරරත්න)