කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය12 වැනි වරට සංවිධානය කළ වාර්ෂික පර් යේෂණ සම්භාෂණය එම විශ්වවිද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමියන් විසින් එම සම්භාෂණයේ දී පවත්වන ලද දෙසුමක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි.
මෙහිදී අපගේ අවධානයට යොමු වන්නේ සමකාලීන අර්බුද හමුවේ සිංහල සම්භාව්‍ය සාහිත්‍යය පවත්නේ කවර තැනක ද යන්නත් එම සමකාලීන අර්බුද කවරේ ද යන්නත් හඳුනා ගැනීමයි.
ඒ අනුව ප්‍රධාන කාරණා කීපයක් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමට කැමැතියි. ඉන් එකක් නම් ශාස්ත්‍රීය අධ්‍යාපනය සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන බරපතළ අර්බුදයයි. ඒ අනුව අපි පොදුවේ දකින අර්බුදය නම් විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨවල අරමුණ ගිලිහී යාමයි.
හතළිහ දශකයේ සිටම කාලයක් ගතවන තුරු විශ්වවිද්‍යාලවල වඩාත් කැපී පෙනුණේ ශාස්ත්‍ර පීඨ බව ඉතිහාසය පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වෙනවා. සමාජ සංස්කෘතික කාරණාවල දී පුළුල් බලපෑමක් කළේ එදා ශාස්ත්‍ර පීඨවල සිටි උගතුන්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය එම්.බී. ආරියපාල වැනි උගතුන්ගේ දැවැන්ත ප්‍රතිරූප තවත් සියවස් ගණනක් ඉදිරියට ඇදෙමින් පවතින්නේ ඒ නිසයි. ඒත් අද වන විට එදා පැවැති ශාස්ත්‍රවන්ත භාවය ගිලිහී ගොස් තිබෙනවා.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා ‘හොවාඩ් ගාඩ්නර්’ නම් අධ්‍යාපනඥයා උපුටා දක්වමින් කියනවා ‘ශාස්ත්‍ර පීඨ තමයි මනුෂ්‍යයාගේ කායික චාලක බුද්ධිය නිර්මාණය කරන්නේ’ කියලා, නිර්මාණකරණයට අවශ්‍ය කායික ශක්‍යතා ඇතිකිරීමට, සංවේදී රසඥතාවක් ඇති මිනිසුන් බිහි කිරීමට, ගැටලුවල දී තාර්කිකව බුද්ධිමත්ව ක්‍රියා කිරීමට සොබා දහම විඳ ගැනීමට ලෝකයට සමාජයට ආදරය කිරීමට මේ පරිසරය තමයි බලපෑම් කරන්නේ. පුද්ගලයා තුළ භාෂා කුසලතා නිර්මාණය කිරීමට, සදාචාරාත්මක ගුණධර්ම පෝෂණය කිරීමට, අාධ්‍යාත්මික ශික්ෂණය ඇති කිරීමට ශාස්ත්‍ර පීඨ තමයි පසුබිම සකස් කරන්නේ. සමස්ත ලෝකයේම තත්ත්වය ඒකයි.
ඒත් දැන් මේ සමාජ පරිසරය අනුව ඇතිවී තිබෙන බරපතළ තත්ත්වය නම් ශාස්ත්‍රරපීඨ වෙළෙඳපොළ අරමුණු ඉටු කරන්නට බැරි මට්ටමකට මුහුණ දීමයි. බුද්ධිමතුන් වෙනුවට වාත්තිකයන් බිහි කිරීමේ පසුබිමක් ශාස්ත්‍ර සමාජයේ වර්ධනය වීමයි. මේ තත්ත්වය නිසා වෙන්න ඇති ශාස්ත්‍ර පීඨවලට එන සිසුන්ට විද්‍යාවේ දී උපාධිය හදාරන්න විෂය මාලා සංශෝධනය විය යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියා තිබුණේ. එයින් පෙනෙන්නේ ශාස්ත්‍ර පීඨවල අරමුණු ගිලිහෙමින් තිබෙන බවයි.
තවමත් උසස් පෙළ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට පනහක්ම තමන්ගේ විෂයයන් හැටියට තෝරගන්නෙ කලා විෂයයන්. නාගරික පාසල්වල වගේ පහසුකම් ග්‍රාමීය මට්ටමේ පාසල්වල නැතිවීමත් මේ තත්ත්වයට හේතුවක් වෙන්න ඇති. කලා විෂය ධාරාවෙන් සමත්ව විශ්වවිද්‍යාලයේ කලා පීඨවලට එන විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවා. මේ විදිහේ තුලනය නොවන ගැටලුකාරී තත්ත්වයන් නිසා රැකියා ගැටලු ඇතිවී තිබෙනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ශාස්ත්‍රීය අධ්‍යාපනය ගිලිහී යාමයි. එහි වටිනාකම් අවතක්සේරු වීමයි.
මෙහිදී අපගේ අවධානයට ලක්විය යුතු තවත් වැදගත් කාරණයක් තිබෙනවා. දීර්ඝ ඉතිහාසයක් තිබෙන අපේ වගේ රටක ඉතාම වැදගත් වෙන්නෙ ඒ රටේ උරුමයයි. එබඳු දීර්ඝ ඉතිහාසයක් නැති රටවල් පවා තමන්ගේ උරුමය රැකගන්න කළ කැපකිරීම් ලෝකය අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වෙනවා. අපේ රටේ කාලාන්තරයක් තිස්සේ වැඩී වර්ධනය වූ භාෂාව, සාහිත්‍යය, පුරාවිද්‍යාව, කලාව ඒ දීර්ඝ ඉතිහාසය සහිත උරුමයේ කොටස්.
ඒ සියල්ල අතරේ සම්භාව්‍ය සාහිත්‍යය කියලා කියන්නේ අපට තිබෙන විශේෂ උරුමයක්. දීර්ඝ ඉතිහාසයක් සහිත අපේ සම්භාව්‍ය සාහිත්‍යය උරුමයෙන් පෙන්වා දෙන්නේ රටක ඥානය ගලාගිය දිශානතිය කවරාකාර ද යන්නයි. අපි කටාරමේ ලියලා ලේඛනය පටන් ගත්තෙ. දහස් ගණනක සෙල්ලිපි උරුමයක් අපට තිබෙනවා. එහි ගැබ් වී තිබෙන්නේ මහා ඥාන සම්භාරයක්. මුද්‍රණය එනතෙක්ම අපි පුස්කොළේ ලිව්වා. සංස්කරණය කළා. පාලි ත්‍රිපිටකයම සිංහල බසින් ලිව්වා.
ඒ විතරක් නොවෙයි දහවැනි ශත වර්ෂයේ ඉඳලා එන අධ්‍යාපන උරුමයක් තිබෙනවා අපට. ධම්මපද අටුවාවෙ ඉඳලා මහනුවර යුගයේ නමස්කාර සන්නය දක්වා පාලි ග්‍රන්ථවලට සිංහල අරුත් සම්පාදනය වුණ උරුමයක් අපට තිබෙනවා. අමාවතුරේ සිට සාරාර්ථ සංග්‍රහය දක්වා බුදුගුණ වර්ණනා කළ සාහිත්‍යයක් අප සතුයි. සද්ධර්මරත්නාවලියේ සිට නූතනය දක්වාම බුදුසිරිත වර්ණනා කෙරෙන සාහිත්‍යයක් අපට තිබෙනවා. ජාතක පොත, ජාතක කාව්‍ය, ජන කාව්‍ය මේ සියල්ල අරගෙන බැලුවොත් අවුරුදු දෙදහස් ගණනක මිනිස් සිතුම් පැතුම්, දුබලතා ප්‍රබලතා සමාජ දේශපාලන බලවේග, සාහිත්‍යය දර්ශනය මේ මහා ඥාන සම්භාරයෙන් පෙනෙනවා.
සාහිත්‍යකරුවාගේ ආදර්ශ රූපය මිනිස් ජීවිතය බව වර්ජිනියා වුල්ෆ් කියා තිබෙනවා. එහෙම බැලුවාම සම්භාව්‍ය සාහිත්‍යයේ හැම තැනකම ආදර්ශ රූපය හැටියට තියෙන්නෙ මිනිස් ජීවිතයයි. ඒත් අපේ මේ මහා දායාදය ලෝකයට ගිහින් නෑ. ඒ නිසා ලෝකයා මේ ගැන දන්නේ නෑ. ලෝකය පැත්තකින් තියලා අපේ සමාජය ගත්තොත් අපි මේ ගැන හරියාකාර හැදෑරීමක් තිබෙනවාද? හැබැයි අපි ලෝක සාහිත්‍යය හදාරනවා. තාගෝර්, චෙකොෆ්, හෙමිංවේ අධ්‍යයනය කරනවා. ලෝක සාහිත්‍යයේ නූතන නිර්මාණ ගැන හොයමින් දැනුම රැස් කරනවා. ඒත් අපේ මහා දායාදය හා උරුමය වූ මේ රටේ සම්භාව්‍ය සාහිත්‍යය අපි අපේ දැනුමට ගන්නෙත් නෑ. ලෝකයට ගෙනියන්නෙත් නෑ. මේක අර්බුදයක්.
මේ රටේ අතීත සම්භාව්‍ය සාහිත්‍යය කියල කියන්නේ අනුකාරක සාහිත්‍යයක් නොවෙයි. මේ සියල්ලේ තියෙන්නේ දේශීය ඥානය. එහෙම බැලුවාම අපට වටිනාකමක් නැද්ද ඒකෙ. හැබැයි නූතන සාහිත්‍යය සම්ප්‍රදායෙන් අනුකාරකයි. කෙටිකතාව නවකතාව නිසදැස අපේ ද? මාර්ටින් වික්‍රමසිංහ මහතා මේ ඇතැම් ක්ෂේත්‍රවලට අපේ කම දෙන්න උත්සාහ කළා තමයි. ඒත් මේ ආකෘති අපේ නොවෙයි.
ගුරුළුගෝමි, විද්‍යා චක්‍රවර්තී, ධර්මසේන හිමි කවදාවත් කාගේවත් අනුකාරකයෝ නොවෙයි. ඔවුන් තත්කාලීන සමාජයෙන්ම බිහිවෙලා තත්කාලීන සමාජය තේරුම් අරගෙන මහා ග්‍රන්ථකරණයේ නියැළුණු සුවිශේෂ සාහිත්‍යධරයන්. විද්‍යා චක්‍රවර්තී කියන නම ලෝක සාහිත්‍යයේ කිසි කෙනෙකුට ලැබිලා නැහැ. චක්‍රවර්තී කියන නම දෙන්නෙ ඒ ලේඛකයා සෑම කල්හිම ශේක්ෂ්පියර්ට වඩා චෙකොෆ්ට වඩා ඉහළින් තියන්න පුළුවන් නිසයි. ශේක්ෂ්පියර්, චෙකොෆ් නියෝජනය කරන්නෙ නූතන දියුණු යුගය. ඒත් විද්‍යා චක්‍රවර්තී සර්ව කාලීන වටිනාකමක් ඇති අගනා ග්‍රන්ථ රචනා කළේ පැන්සලක්වත් නැති කාලෙක. එතැන දී තමයි ඔවුන් සැබෑ චක්‍රවර්තිලා වෙන්නේ.
නූතනයේ ඇතැම් සාහිත්‍යධරයන්, විචාරකයන් කල්පනාකරනවා පැරැණි සම්භාව්‍ය සාහිත්‍යය හමස් පෙට්ටියේ තියෙන එකක්ය කියලා. නූතන සමාජය ප්‍රබෝධවත්කරන, නූතන ප්‍රඥාවට අමතන්න පැරැණි සම්භාව්‍ය සාහිතයයට හැකියාවක් නැහැ කියලා ඇතැම් අය තර්ක කරනවා. ඒත් ඒ තර්කය කොයිතරම් අසාධාරණ එකක්ද? ඔවුන්ගේ ඒ තර්ජනයේ පදනම කුමක්ද? ඔවුන් එහෙම කියන්නේ සම්භාව්‍ය සාහිත්‍යය අතීත කාලීන නිසාද? එතකොට මේවා යාවත්කාලීන නැද්ද? නූතන සාහිත්‍යයේ ඇති ජීවන යථාර්ථය මේවායේ නැද්ද? නූතන සාහිත්‍යයට වඩා සිය දහස් ගුණයක වටිනාකමක් සද්ධර්මරත්නාවලියේ එක කතාවක්. එක ජාතක කතාවකින් ගන්න පුළුවන්, මේවා යථාර්ථවාදී සාහිත්‍යයක් නොවුණා නම් මාර්ටින් වික්‍රමසිංහ ‘සිංහල සාහිත්‍යයේ නැඟීමක්’ ලියන්නේ ඇයි ? ‘ජාතක කතා විමසුමක්’ ලියන්නේ ඇයි? ගුත්තිල ගීතයක් ලියන්නේ ඇයි? යතිවරයකුටවත් ලියන්න බැරිවුණ දේවල් වික්‍රමසිංහ පැරැණි සම්භාව්‍ය සාහිත්‍යය සම්බන්ධයෙන් ලියනවා. ඩබ්ලිව්.එෆ්. ගුණවර්ධන ගුත්තිල විමසුමක් ලියන්නේ කොටහේනේ පඤඤාකිත්ති හිමි සිංහල සාහිත්‍ය කතා පොත් පෙළක් ලියන්නෙ සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ වටිනාකම දැන සිටිය නිසයි. ඒනිසා මේවා හුදු බණ කතා පමණක්ය කියා හංවඩු ගහලා පැත්තකට දාන්න කාටවත් බෑ.
සිංහල සාහිත්‍යය මුහුණ දෙන සමකාලීන අර්බුද කවරේද යන තේමාවෙන් පැවැත්වුණු මෙම පර් යේෂණ සම්භාෂණයේ සැසි 9 ක් පැවැත්වුණා. එහිදී බටහිර සාහිත්‍යය සම්බන්ධව ලියැවුණු පර්ය්ෂණ පත්‍රිකා 65 ක් තිබුණා. සිංහල සම්භාව්‍ය සාහිත්‍යයට සම්බන්ධව තිබුණේ එකම එක පර් යේෂණ පත්‍රිකාවයි. ඒ තමයි ගනුෂ්ක රන්දුල මහතා ඉදිරිපත් කළ පර් යේෂණ පත්‍රිකාව. අනෙක් සියල්ලේම තිබුණේ නූතන සාහිත්‍යය නියෝජනය කළ සරල මාතෘකා. අජිත් තිලකරත්නගේ ලේඛන ක්‍රමය හොයන අය විද්‍යාචක්‍රවර්තිගේ බසගැන හොයල තියනවද? නෑ. කොවිඩ්වලින් බස පෝෂණය වූ හැටි හොයනවා. ගුරුළුගෝමී බස් වඩුවෙක් වෙන්නෙ කොහොමද කියලා හොයන්නේ නෑ. මාක්ස්වාදී විචාර චින්තාවන් ගැන හොයනවා. මාක්ස්වාදී දර්ශනය ඉක්මවා යන ධර්මසේන හිමියන්ගේ සමාජ දර්ශනය ගැන හොයන්නෙ නෑ. නුතන කවියේ බෞද්ධ දෘෂ්ටිය හොයනවා. ෆේස් බුක් කවිය ගැන හොයනවා. යුද පසුබිමක් ඇතුළේ සුභාෂිතය ලිව්වෙ කොහොමද කියලා හොයන්නේ නෑ. ගෝල් ෆේස් අරගලය කවියට බලපෑ විදිහ හොයනවා. කාලිංග මාඝ ආක්‍රමණය සාහිත්‍යයට බලපෑ හැටි ගැන හොයන්නෙ නැ. එහෙම බැලුවාම නුතන ශාස්ත්‍ර පර් යේෂණ බරක් ගැඹුරක් නැති සරල මාතෘකා අතපතගාන ඒවා හැටියටයි බැලු බැල්මට පෙනේන්නේ. මහගමසේකර, රත්න ශ්‍රී විජේසිංහ වගේ නූතන නිර්මාණකරුවන් ගැන සමාජය කතා කරන්නේ ඇයි? ඔවුන්ගේ නිර්මාණ පවතින්නේ ඇයි? ඔවුන් පෝෂණය ලබන්නේ සම්භාව්‍ය සාහිත්‍යයෙන්. නිර්මාණවල මූලාශ්‍ර බවට පත්වෙන්නෙ ඒ සාහිත්‍යය.
නූතන පරපුරේ ඇතැම් අය සම්භාව්‍ය සාහිත්‍යය මේ විදිහට අත්හරින්නේ භාෂාව තේරුම් ගන්න බැරි නිසයි. ඒක තේරුම් ගන්න අධ්‍යයනයක් කරන්න උනන්දු නොවන නිසයි. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලංකාදීප වීමංසා සාහිත්‍යය සංග්‍රහයට මෑතක දී ප්‍රකාශයක් කරලා තිබුණා. නුතන පරපුරේ සිංහල හීනමානය භාෂාවේත් ජාතියේත් බරපතළ ඛේදවාචකයක් බව. ඒ අදහස සම්පූර්ණයෙන් එකඟවිය හැකි එකක්. පාලි සංස්කෘත භාෂා ආදියෙහි ඇසුරත් එක්ක තමයි සුචරිත ගම්ලත් වැනි පඬිවරුන් බිහි වුණේ.
අධ්‍යාපනයේ අර්බුදය, විෂයමාලා අර්බුදය, ගැඹුරු රුචිකත්වයක් වර්ධනය කරගැනීමට මඟක් නොමැති කම නිසා නූතන සමාජයට ගැඹුරු දේ විඳින්නට ඇති නොහැකියාව කැපී පෙනෙනවා. බුත්සරණේ නාලාගිරි දමනයේ ඇති රසය විඳින්න ඔවුන්ට මඟක් නැත්තෙ ඒකයි. හැබැයි අතීතයේ අධ්‍යාපන විෂය මාලා තුළ ඒ තත්ත්වය තිබුණා. හැට දශකයේ සාමාන්‍ය පෙළට නියම වෙලා තිබුණෙ මනුතාපය, බිම්ගෙයි සිරකරුවා, බෝධිවංශය, උම්මග්ග ජාතකය, මයූර සන්දේශය කියන පොත්, ඒ නිර්දේශය අධ්‍යයනය කරන සිසුවකුට නිර්මාණ සාහිත්‍යයත්, ලෝක සාහිත්‍යයත්, සම්භාව්‍ය සාහිත්‍යයත් සියල්ලම ආවරණය වුණා. අද එහෙම තත්ත්වයක් නැහැ.