අතුරුදන්ව සිටි අනුලා ජයතිලක මහත්මිය පසුගිය 7 වැනිදා හමාස් ඉස්ලාමීය සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගොස් ඇති බව අද (17) තහවුරු වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

දේහය හඳුනා ගැනීමෙන් පසුව දින දෙකක් ඇතුලත ඊශ්‍රායල පොලිසිය අනුලා ජයතිලක මහත්මියගේ දේහය තානාපති කාර්යාලයට බාර දෙනු ඇති බවත් අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් සිදු කිරීම පිළිබඳව තොරතුරු ඉතා ඉක්මණින් ලැබෙනු ඇති බවත් බණ්ඩාර මහතා පැවසුවේය.

අවසන් ගෞරව දක්වා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අනුලා ජයතිලක මහත්මියගේ දේහය ඥාතීන් වෙත බාර දෙනු ලබන බව තානාපති බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

හමාස් ඉස්ලාමිය සටන්කාමීන් ප්‍රාණ ඇපයට ගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයන් සිටින බවට තොරතුරු තහවුරු වී නොමැති බවද බණ්ඩාර මහතා පැවසුවේය.

අනවසරයෙන් දේශසීමා හරහා ජෝර්දානයේ සිට ඊශ්‍රායලයට ඇතුල්වීමේ දී ඊශ්‍රායල හා ජෝර්දාන දේශසීමා ආරක්ෂක සෙබළුන් විසින් අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා නැවතත් ජෝර්දානයට යැවීමට කටයුතු කරන බවත් මේ වනවිට බටහිර ගාසා තිරයෙන් පවුල් 3 කට අයත් ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ඉවත් කර ගැනීමට පලස්තීන නියෝජිත කාර්යාලය කටයුතු කර ඇතැයි තමන්ට දැන ගන්නට ලැබී තිබෙන බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.